වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීම ඊයේ (23) රාත්‍රියේ සිදුව ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද, වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි අදාළ උත්සව ශාලාව වෙත මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි.
ප්‍රහාරයෙන් අනතුරුව සැකකරු පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ජාඇල ප්‍රදේශයේ අත්හැර දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබිය හැකි බවයි. කෙසේ වෙතත්, එය තවදුරටත් විමර්ශනයට ලක්වෙමින් පවතින අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.