Breaking

Post Top Ad

Friday, July 24, 2026

පැහැරගනු ලැබූ චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩින් හමුවෙයි

 කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැක කෙරෙන චීන ජාතිකයෙකුගේ මළසිරුර ඇහැළියගොඩ කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ අද අලුයම වරාය නගරයට මසුන් ඇල්ලීම සඳහා චීන ජාතිකයින් තිදෙනෙකු කැබ් රථයකින් පැමිණ ඇති බවයි. එම අවස්ථාවේදී තවත් වාහන දෙකකින් පැමිණි චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී ඇති අතර, එක් අයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ. සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන වෑන් රථයක් එම ස්ථානයේ දමා ගොස් ඇති අතර, එහි තිබී වායු පිස්තෝලයක්ද සොයාගෙන ඇත.


මේ අතර නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා කරඳන ගේට්ටුකඩේ ප්‍රදේශයට ගිය ඇහැළියගොඩ පොලිස් නිලධාරීන් පිරිසකට කැලෑබද ප්‍රදේශයක සැකකටයුතු ලෙස ගල් ගොඩක් සකස් කර තිබූ ස්ථානයක් හමුවී තිබේ. එය පරීක්ෂා කිරීමේදී මිනිස් සිරුරක් එහි සඟවා තිබූ බව අනාවරණය වී ඇති අතර, පසුව එය වරාය නගරයෙන් පැහැරගෙන ගිය චීන ජාතිකයාගේ මළසිරුර බව තහවුරු වී ඇත.


මළසිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එය සඟවා තිබූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද පොලිසිය සොයාගෙන තිබේ. එම රථය මළසිරුර ප්‍රවාහනය කිරීමට භාවිත කර ඇති බවට සැක පළ කෙරේ.


සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් දෙදෙනෙකු රටින් පිටව යාමට උත්සාහ කළ අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලිසියට භාරදී ඇති අතර, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි.


චීන ජාතිකයින් අතර මෙම ගැටුමට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැත.


මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, සිද්ධිය පිළිබඳ කඩිනම් හා පුළුල් විමර්ශනයක් සිදුකර සත්‍ය කරුණු අනාවරණය කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙසද ඉල්ලීමක් කර ඇත.


තවද, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයෙන් සිටින ලෙසත්, හදිසි අවස්ථාවකදී වහාම පොලිසියට දැනුම් දී තානාපති කාර්යාලය සමඟද සම්බන්ධ වන ලෙසත් චීන තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

Post Top Ad

Pages