Breaking

Post Top Ad

Saturday, July 25, 2026

යතුරුපැදියෙන් ගමන් කල තරුණයන් දෙදෙනා ටිපර් රථයක ගැටී මරුට

 

හොරණ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් නරඹා යතුරුපැදියෙන් නිවෙස් බලා පැමිණෙමින් සිටි තරුණයන් දෙදෙනෙකු, 19 වෙනි දින අලුයම 2.30ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර හොරණ - මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල පිහිටි වංගු සහිත ස්ථානයකදී සිදුව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.


අනතුරින් මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි දෙගම්බඩ ගමරාලලාගේ දිල්ෂාන් මදුසර සෙනෙවිරත්න සහ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උදීෂ් සිත්මිණ යන දෙදෙනාය.

පොලිස් විමර්ශනවලට අනුව, හොරණ දෙස සිට ධාවනය වූ යතුරුපැදිය කනන්විල වංගුව ආසන්නයේදී වේගය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ මංතීරුවට ඇදී ගොස්, ඉදිරියෙන් පැමිණි වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටී ඇති බවට සැක කෙරේ.


අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනා වහාම හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළද, වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව වාර්තා වේ.


අනතුරේ දැඩි බලපෑම හේතුවෙන් යතුරුපැදියටද බරපතළ හානි සිදුව ඇති අතර, මියගිය දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය කටයුතු කරමින් සිටී.


මේ අතර, අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages