රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි 24 හැවිරිදි රණසිංහ මුදියන්සේලාගේ සුහාරි සන්දීපාගේ අකල් මරණය කෑගල්ල ප්‍රදේශයම ශෝකයට පත් කර තිබේ.
කෑගල්ල රංවල, පරණගම්පල ප්‍රදේශයේ පදිංචි වූ ඇය, උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වී මීට වසර දෙකකට පමණ පෙර රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ පවුලේ සහ තම අනාගත සිහින සැබෑ කරගැනීමේ අරමුණිනි. පවුලේ වැඩිමහල් දියණිය වූ සුහාරිගේ සහෝදර සහෝදරියන් තිදෙනාද උසස් අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපනය හදාරමින් සිටිති.
පවුලේ සාමාජිකයන්ගේ ප්‍රකාශ අනුව, ඇයට දිව යට ඇති වූ කුඩා බිබිලක් ආසාදනය වීමත් සමඟ ආහාර ගැනීම පවා අපහසු වන තත්ත්වයක් ඇති වී තිබුණි. එම අවස්ථාවේ ඇය ප්‍රතිකාර සඳහා ආයුර්වේද රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඉන් අනතුරුවද ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් මත ප්‍රතිකාර ලබාගෙන තිබේ.
කෙසේ වෙතත්, කාලයත් සමඟ ඇගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළ වී හුස්ම ගැනීමේ අපහසුතාද මතුව තිබේ. පසුව ඇය පෞද්ගලික ගිලන් රථයකින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, දැඩි සත්කාර ඒකකයේ දින තුනක් ප්‍රතිකාර ලැබූ නමුත් ජීවිතය බේරාගැනීමට නොහැකි විය.
මෙම මරණය සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ ලබාගත් සාක්ෂි අනුව මරණයට නිශ්චිත හේතුවක් තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කර ඇත.
මෙම සිදුවීම සෞඛ්‍ය ගැටලු මතුවන අවස්ථාවලදී කාලෝචිත වෛද්‍ය උපදෙස් සහ සුදුසු ප්‍රතිකාර ලබාගැනීමේ වැදගත්කම පිළිබඳ නැවත වරක් සමාජයේ අවධානය යොමු කර ඇති අතර, සරසවි සිහිනයක් මැද නතර වූ තවත් තරුණ ජීවිතයක් පිළිබඳව බොහෝ දෙනාගේ සංවේගය පළ වී තිබේ.