ඇඹිලිපිටිය, කිරැලවැල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ යකඩයකින් පහරදී කුරිරු ලෙස ඝාතනය කළ මවුපිය යුවළකගේ සිරුරු පෙරේදා (13) රාත්‍රියේ සොයාගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වන්නි ආරච්චිගේ සරත් (58) සහ ඔහුගේ බිරිඳ වන නම්මුණි ආරච්චිගේ කාන්ති (54) යන දෙදරු මවුපියන් දෙදෙනාය.
සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ 25 හැවිරිදි පුතා සැකපිට එදිනම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුද එම නිවසේම පදිංචිව සිටි බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් තොරතුරු අනුව, මියගිය පියා වසර 20කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ අයෙකි. සැකකාර පුතා දිගු කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මීට පෙර ගංජා සන්තකයේ තබා ගැනීම සහ පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි සැකකරු, ඔහුගේ මවුපියන් විසින් ඇප ලබාදී මුදාගෙන තිබූ බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නිරෝෂන් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එමෙන්ම පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන සිදු කළහ.
මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහි වාර්තාව ඉදිරි දිනක අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඒ. එම්. බණ්ඩාර මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.