Breaking

Post Top Ad

Friday, July 17, 2026

රත්මලානේදී ගුවන් යානයක සරුංගල් පැටලීමෙන් හදිසියේ ගොඩබායි

ගුවන් තොටුපළවල් සහ ගුවන් ගමන් මාර්ග ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.


මෙම දැනුම්දීම නිකුත් කර ඇත්තේ පසුගිය ජූලි 15 වනදා රත්මලාන ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ Y-12 වර්ගයේ පුහුණු ගුවන් යානයක් සරුංගල් නූල්වල පැටලීම හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදු කිරීමට සිදුවූ සිද්ධියෙන් අනතුරුවය.

යානය ආරක්ෂිතව ගොඩබැස්වීමෙන් පසුව සිදුකළ තාක්ෂණික පරීක්ෂාවලදී, යානයේ වම් රෝදය, වම් එන්ජිම සහ තවත් වැදගත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල ප්‍රමාණයක් පැටලී තිබූ බව අනාවරණය වී තිබේ.


ගුවන් හමුදාව පෙන්වා දෙන්නේ මෙවැනි සරුංගල් නූල් හෝ අහසේ පාවෙන වෙනත් සුන්බුන් ගුවන් යානාවල එන්ජින් සහ පාලන පද්ධතිවලට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවිය හැකි බවයි. එවැනි තත්ත්වයක් යානයේ පාලනයට බලපෑම් එල්ල කර ගුවන් කාර්ය මණ්ඩලය සහ මගීන්ගේ ජීවිත පවා අවදානමට ලක් කළ හැකි බවද ඔවුන් අවධාරණය කරයි.


මේ වන විට කටුනායක, රත්මලාන, මත්තල, හිඟුරක්ගොඩ, චීන වරාය, අනුරාධපුරය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියාව සහ වීරවිල ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද ගුවන් හමුදාව සඳහන් කරයි.


එබැවින් ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් තොටුපළවල් සහ ගුවන් පථ ආසන්නයේ පදිංචි ජනතාව ඇතුළු සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි.

Post Top Ad

Pages